Monday, February 14, 2022

ආර්ථික විද්‍යාව

 ආර්ථික විද්‍යාව

ආර්ථික විද්‍යාව ඉගෙනුම් පල -

මිනිසුන් ගේ ආර්ථික හැසිරීම විස්තර කරයි.

ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් බව තහවුරු කරයි.

ආර්ථික විද්‍යාව ඉගෙනීමේ වැදගත්කම පැහැදිලි කරයි..

සූක්ෂ්ම හා සාර්ව ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍ර අතර වෙනස නිදසුන් සහිතව පැහැදිලි කරයි.

ආර්ථික විද්‍යාවේ යථානුරූපී සහ අභිමතානුරූපී ප්‍රකාශ අතර වෙනස නිදසුන් මගින් පැහැදිලි කරයි.


ආර්ථික විශ්ලේෂණය

අවශ්‍යතා හා වුවමනා. Needs and Wants

මිනිසුනට ජීවත් වීම සඳහා අවශ්‍ය කෙරෙන මූලිකම දෑ අවශ්‍යතා යනුවෙන් හැඳින්වේ.

උදාහරණ - ආහාර, ඇඳුම්, වාසස්ථාන, ‍ඖෂධ, 


එම අවශ්‍යතා ඉටු කරගන්නා විවිධ ස්වරූප වුවමනා යනුවෙන් හැඳින්වේ.

උදාහරණ - බත්, පාන්, එළවලු, පැරසිටිමෝලට්, කොත්තමල්ලි, පැල්පත්, තට්ටු නිවාස, බද්ධ නිවාස, කලිසම්, සාරි, ගවුම්

අවශ්‍යතා ජීව විද්‍යාත්මකය.  -  වුවමනා සංස්කෘතිමයය.

අවශ්‍යතා සීමිත ය. Needs are limited;   එහෙත් වුවමනා වන් අසීමිත ය. Wants are unlimited.

අවශ්‍යතා කාලයත් සමග වෙනස් නොවේ. එහෙත් වුවමනා වන් කාලයත් සමග වෙනස් වේ.

අවශ්‍යතා පොදු වේ. එහෙත් වුවමනා වන් පුද්ගල බද්ධය.

ආර්ථික විද්‍යාවේ අවධානය යොමු වන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් තෘප්තිමත් කරගත හැකි ද්‍රව්‍යාත්මක වුවමනා වන් කෙරෙහි ය.

සමාජයේ ජීවත් වන මිනිසුන් ගේ විවිධ අවශ්‍යතා.

භෞතික අවශ්‍යතා.

භාණ්ඩ හා සේවා මගින් ඍජුවම සපුරා ගත හැකි අවශ්‍යතා

මානසික අවශ්‍යතා.

භාණ්ඩ හා සේවා මගින් ඍජුවම සපුරා ගත නොහැකි අවශ්‍යතා, ආදරය, කරුණාව , පිළි ගැනීම

ආර්ථික හැසිරීම්.

මිනිසුන් සීමිත සම්පත් යොදාගෙන  භෞතික අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීමට සිදු කරන ක්‍රියාකාරකම් හා හැසිරීම් ආර්ථික හැසිරීම් ලෙස හැඳින්වේ.

නිෂ්පාදනය,

බෙදාහැරීම

පරිභෝජනය (ප්‍රයෝජනයට ගැනීම, භාවිතා කිරීම, රස විඳීම)

 සමාජයේ මිනිසුන් ගේ විවිධ හැසිරීම් අතරින් ආර්ථික හැසිරීම් පිළිබඳ අධ්‍යයනය ආර්ථික විද්‍යාව මගින් සිදු කෙරේ.


ආර්ථික විද්‍යාව පිළිබඳ නිර්වචන


විකල්ප භාවිත සහිත හිඟ සම්පත් සහ අසීමිත මිනිස් වුවමනාවන් අතර සම්බන්ධතාවය අධ්‍යයනය කරන විෂයය ආර්ථික විද්‍යාවයි.

සීමිත සම්පත් වලින් අසීමිත මිනිස් වුවමනා වන් සපුරා ගන්නේ  කෙසේද යන්න හදාරන විෂයය ආර්ථික විද්‍යාවයි.

ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ ඇඩම්ස් ස්මිත් ය. 1776 දී  ඔහු ලියූ ග්‍රන්ථය ජාතීන්ගේ ධනය Wealth of Nations නම් වේ.



සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුල මිනිසාගේ භෞතික අවශ්‍යතා හා අසීමිත වුවමනාවන් සපුරා ගැනීමට කටයුතු කිරීමේදී නිෂ්පාදනය, බෙදාහැරීම හා පරිභෝජනය යන ක්ෂේත්‍රයන්හිදී මිනිස් හැසිරීම විග්‍රහ කිරීමට සුවිශේෂ වශයෙන් යොමු වූ විෂයයක් ලෙස ආර්ථික විද්‍යාව හඳුන්වා දිය හැක.

එනම් තේරීම කරන ආකාරය හා එයින් ඇතිවන ප්‍රතිඵලය හැදෑරීමයි.

පෝල් සැමුවෙල්සන් ට අනුව, සමාජය විසින් පලදායී භාණ්ජ නිෂ්පාදනය කිරීම සඳහා හිඟ සම්පත් භාවිතා කරන්නේ කෙසේද,  එලෙස නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයින් අතර බෙදා හරින්නේ කෙසේද යන්න අධ්‍යයනය කරනු ලබන විෂයය ආර්ථික විද්‍යාවයි.

ආර්ථික විද්‍යාව තුල අන්තර්ගතවූ ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කෙරේ.

සමාජයේ භාණ්ඩ වල හිඟ කමක් පවතින බව,

සමාජය සතු හිඟ සම්පත් කාර්යක්ෂමය උපයෝජනය කළ යුතු බව.


සූක්ෂ්ම ආර්ථික විද්‍යාව

    ආර්ථිකය සමන්විත වී ඇති එක් එක් අංශ, ආය‍ෙතන, පුද්ගලයන් හා ආර්ථික විචල්‍යයන් ආදී කුඩා ඒකක වෙන් වෙන් වශයෙන් ගෙන ඒවායේ හැසිරීම අධ්‍යයනය කිරීම.

සාර්ව ආර්ථික විද්‍යාව

    ආර්ථිකයේ සමස්ථ ක්‍රියාකාරීත්වයත්, එම ක්‍රියාකාරීත්වය තීරණය කරන සාධකත්, එම ක්‍රියාකාරීත්වය තුලින පැන නගින ප්‍රශ්නත්  අධ්‍යයනය  කිරීම.


යථානුරූපී හා අභිමතානුරූපී ආර්ථික විද්‍යාව.

යමක පවතින ස්වභාවය, පැවති ස්වභාවය හා අනාගතයේ නිශ්චිතවම සිදුවනදේ කුමක්දැයි දැක්වෙන , නිරවද්‍යතාවය පරීක්ෂා කළ හැකි ප්‍රකාශ යථානුරූපී ප්‍රකාශ වේ. ඒවා විද්‍යාත්මක විෂයානුබද්ධ ප්‍රකාශ වේ.

සමාජය තුල පැවතිය යුත්තේ කුමක් ද , සිදුවිය යුත්තේ කුමක්ද  යන්න පිළිබඳ ව ඉදිරිපත් වී ඇති ප්‍රකාශ අභිමතානුරූපී ප්‍රකාශ ය. ඒවා පුද්ගල අදහස්, විශ්වාස හා සාරධර්ම ආදිය මත රඳා පවතින බැවින් බොහො සෙයින්ම පුද්ගල බද්ධ වේ.


ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ

ධන තෘප්තියක් හෙවත් උපයෝගීතාවයක් ලබා දෙන ඕනෑම දෙයක් ආර්ථික විද්‍යාවේ දී භාණ්ඩයක් ලෙස හැඳින්වේ.

සැපයුමෙහි හිඟ කමක් දක්නට ලැබෙන සම්පත් පිරිවැයක් හා ආවස්ථික පිරිවැයක් දරා මිනිසා මැදිහත් වී සාධක සංයෝග කර නිපදවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ.

ආර්ථික නොවන භාණ්ඩ ( එනම්  නොමිල භාණ්ඩ, පිරිවැය රහිත භාණ්ඩ, ස්වාභාවික භාණ්ඩ, නිදහස් භාණ්ඩ)

ශුන්‍ය මිලකදී අසීමිත සැපයුමක් සහිත භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වේ.

ආර්ථික නොවන භාණ්ඩ වල සම්පත් පිරිවැයක් හා ආවස්ථික පිරිවැයක් නොපවතී.

ආර්ථික භාණ්ඩ කිසිවිටෙකත් ආර්ථික භාණ්ඩ බවට පත් නොවුනද, ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ බවට පත් වන අවස්ථා පවතී.

භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට  යොදා ගන්නා යොදා ගනු ලබන සියලුම යෙදවුම් නිෂ්පාදන සාධක ලෙස හැඳින්විය හැක.

ප්‍රශ්නය 1

1.    නිදර්ශන යොදා ගනිමින් ආර්ථික නොවන භාණ්ඩයක් හා ආර්ථික භාණ්ඩයක් අතර වෙනස පැහැදිලි කරන්න.

2.    ආවස්ථික පිරිවැය සංකල්පය පැහැදිලි කොට, ආවස්ථික පිරිවැය, හිඟකම පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වන්නේ කෙසේ දැයි විස්තර කරන්න.

3.    වර්තමාන පරිභෝජනය කපා හැරීමට කැමැත්තක් දක්වල රටවල ආර්ථිකයන් වඩා වේගයෙන් වර්ධනය වන්නේ කෙසේදැයි නිෂ්පාදන හැකියා වක්‍ර භාවිතා කරමින් විස්තර කරන්න.

4.    නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත පිහිටි සියලු ම ලක්ෂ්‍යයන් ආර්ථික කාර්යක්ෂමතාව අතින් එක හා සමානත්වයක් පෙන්නුම් කරන්නේ ද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න.

5.    වෙළඳපොල ආර්ථිකයන් අවශ්‍යයෙන්ම ධනේශ්වර ආර්ථිකයන් වන්නේ ද? එසේම විධානගත ආර්ථිකයන් අවශ්‍යයෙන්ම සමාජවාදී ආර්ථිකයන් වන්නේ ද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න.

ප්‍රශ්නය 2

1.    නිෂ්පාදන සාධකයක් වශයෙන් ව්‍යවසායකත්වය ශ්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේද?

2,    වැඩෙන ආවස්ථික පිරිවැය නීතිය පැහැදිලි කරන්න. ආවස්ථික පිරිවැය ඉහල යාමට හේතු වන කරුණු කවරේ ද?

3.    ඕනෑම ආර්ථික පද්ධතියක් විසින් විසඳා ගත යුතු මූලික ආර්ථික ප්‍රශ්න තුන නම් කොට එම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැකසී ඇති ප්‍රධාන ආර්ථික පද්ධති තුන සැකෙවින් සඳහන් කරන්න.

4.    සේවා වියුක්ති අනුපාතිකයේ ඉහළ යාමක් සහ වැඩ කරන වයසේ ජනගහනයේ ඉහළ යාමක් නිසා ආර්ථිකය මත ඇති කරන බලපෑම, නිෂ්පාදන හැකියා වක්‍ර භාවිතා කරමින් වෙන් වෙන්ව පැහැදිලි කරන්න.

5.    කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කරන විට. ඒ සඳහා ඔබගෙන් මිලක් අය කරනු නොලැබුවේ නම් එම භාණ්ඩය ආර්ථික නොවන භාණ්ඩයක් විය යුතුය. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේ ද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න.

මිනිස් උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගත හැකි සියලු ම නිෂ්පාදන සාධක සම්පත් නමින් හැඳින්වේ.

1.    ආර්ථික සම්පත් - හිඟකමක් සහිත සම්පත්

2.    ආර්ථික නොවන සම්පත් - හිඟකමක් රහිත සම්පත්

නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාවධර්මයෙන් ලැබී ඇති සම්පත් ස්වාභාවික සම්පත් ලෙසින හැඳින්වේ.

ස්වාභාවික සම්පත් වර්ග දෙකකි.

1.    ප්‍රතිෂ්ඨාපනය කළ හැකි සම්පත්    උදා.- වනාන්තර 

2.    ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පත් උදා - පොසිල ඉන්දන


නිෂ්පාදන සාධක ප්‍රධාන කාණ්ඩ හතරකි.

භූමිය    -    Land

ප්‍රාග්ධනය    -    Capital

ශ්‍රමය    -    Labour

ව්‍යවසායකත්වය    -    Aunterpreniurship


භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගනු ලබන සියළුම ස්වාභාවික සම්පත් භූමිය ලෙස සැලකේ.

    නිදසුන් - මහ පොළව, සාගර, ඇළදොල, ගංගා, දිය ඇළි, දේශගුනය, වනාන්තර, වන සතුන්, වායුගෝලය හා ඛනිජ සම්පත්

භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නා පුද්ගලයින්ගේ කායික හා මානසික වෙහෙස හෝ ප්‍රයත්නයන් ශ්‍රමය ලෙස හැඳින්වේ.


භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගනු ලබන මිනිසා විසින් නිපදවන ලද සියලුම ආධාරක ප්‍රාග් ධනය ලෙස හඳුන්වයි.

නිදසුන්.

යන්ත්‍ර සූත්‍ර

ගොඩනැගිලි

මහා මාර්ග, දුම්රිය මාර්ග

කම්හල්

උපකරණ හා මෙවලම්

වරාය හා ගුවන් තොටුපල

වාරිමාර්ග

විදුලි බලාගාර

සන්නිවේදන ජාල

ඉතිරි බඩු තොග

ගොවිතැනට යොදා ගන්නා ගවයින්.


මානව ප්‍රාග්ධනය

පුද්ගලයන්ගේ අධ්‍යාපනය, පුහුණුව හා අත්දැකීම් තුලින් අත්පත් කරගත් දැනුම හා පළපුරුද්ද නිපුනතා ආදී සමාජ හා පෞරුෂ ගුණාංග මානව ප්‍රාග්ධනය වේ.


ආර්ථික පොදු කාර්යය ප්‍රාග්ධනය


රටක නිෂ්පාදන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ගොඩනගා ඇති සියළුම ආර්ථික යටිතල පහසුකම් ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය වේ.


ප්‍රවාහන - මහා මාර්ග, ගුවන් තොටුපල හා වරාය

සන්නිවේදන - දුර කථන ජාල, තැපැල් කාර්යාල, විකාශන කුළුණු

බල ශක්ති - විදුලි බලාගාර, ජාතික විදුලි බල පද්ධති.

ජල සම්පාදනය - වාරි මාර්ග, නල ජල මාර්ග, ඇළ මාර්ග


සමාජ පොදු කාර්යය ප්‍රාග්ධනය

සමාජයේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා ගොඩනගා ඇති ප්‍රාග්ධන වත්කම්, (සමාජ යටිතල පහසුකම්) සමාජ පොදු කාර්යය ප්‍රාග්ධනය වේ.

උදාහරණ -

    පාසල්, රෝහල්, ක්‍රීඩා පිටි, විශ්ව විද්‍යාල, කසල ප්‍රතිචක්‍රීයකරණ යන්ත්‍ර, අප ජලය බැහැර කරන කාණු පද්ධති.

සමාජ ප්‍රාග්ධනය

මිත්‍ර කණ්ඩායම්, ජන වාර්ගික කණ්ඩායම්, සංස්කෘතික කණ්ඩායම් තුල පවතින අන්තර් පුද්ගල සම්බන්ධතා , සමාජ ජාල සම්බන්ධතා තුළින් හට ගන්නා කණ්ඩායම් ශක්තිය සමාජ ප්‍රාග්ධනය වේ.

උදාහරණ -

අත්තම් ක්‍රමය

මරණාධාර සමිති

ග්‍රාම සංවර්ධණ සමිති


ස්වාභාවික ප්‍රාග්ධනය

රටක නිෂ්පාදන ශක්තිය සුවිශේෂී ලෙස වර්ධනය වීමට ඉවහල් වන ස්වාභාවික සම්පත් සම්භාරයන් ස්වාභාවික ප්‍රාග්ධනය වේ.

උදාහරණ -

මැද පෙරදිග ඛනිජ තෙල්

දකුණු අප්‍රිකාවේ රන් නිධි

උතුරු ඇමරිකාවේ තෘණ බිම්

ඕස්ට්‍රේලියාවේ තෘණ බිම්.


ව්‍යවසායකත්වයේ කාර්ය භාරය.


භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම

එනම් කුමක්, කොපමණ, කෙසේ, කා සඳහා නිපදවනවාද යන තීරණ ගැනීම.


භාණ්ඩ හා සේවා නිෂ්පාදල කටයුතු සංවිධානය කිරීම.

නවෝත්පාදනයේ යෙදීම

අවදානම් දැරීම


ඕනෑම ජන සමාජයක හිඟ කම නිසා මූලික ආර්ථික ප්‍රශ්න තුනකට මුහුණ දේ.


1.    කුමක් කොපමණ නිපදවනවාද

2.    කෙසේ නිපදනවාද

3.    කා සඳහා නිපදනවාද


විකල්ප ප්‍රයෝජල සහිත සීමිත සම්පත් වලින් සමාජයට අසීමිත උවමනා සපුරා ගැනීමට අවශ්‍ය කුමන භාණ්ඩ හා සේවා නිපදනවාද, කවර ප්‍රමාණයක් නිපදවනවාද, යනුවෙන් මුහුණ පාන ගැටළුව කුමක් කොපමණ නිපදවනවාද යන ගැටළුව වේ. මෙම ගැටළුව සම්පත් බෙදා වෙන්කිරීම පිළිබඳ ගැටළුව යනුවෙන් ද හඳුන්වයි.

මෙම ගැටළුව මතු වන්නේ පහත හේතු නිසාය.

-    මිනිස් උවමනා අසීමිත වීම

-    සම්පත් සීමිත වීම

-    සම්පත් වල විකල්ප භාවිත පැවතීම

විකල්ප ශිල්පීය ක්‍රම අතුරින් කුමන ශිල්ප ක්‍රමය භාවිතා කොට භාණ්ඩ නිපදනවාද යන ගැටළුව කෙසේ නිපදනවාද යන ගැටළුව වේ.

නිෂ්පාදන සාධක සංයෝජනය කළ හැකි විකල්ප ක්‍රම දෙකක් ඇත.

1.    ශ්‍රම සූක්ෂූම ශිල්ප ක්‍රමය

2.    ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය

 ශ්‍රම සූක්ෂූම ශිල්ප ක්‍රමය යනු අනෙකුත් නිෂ්පාදන සාධක වලට සාපේක්ෂව  ශ්‍රමය බහුලව භාවිතා කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම

නිදසුන් - ශ්‍රී ලංකාවේ පැදුරු විවීම, තේ නෙලීම

ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය යනු අනෙකුත් නිෂ්පාදන සාධක වලට සාපේක්ෂව  ප්‍රාග්ධනය බහුලව භාවිතා කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම

නිදසුන් - මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තය


ඉහත සඳහන් ශිල්ප අතුරින් කවර ශිල්ප ක්‍රමය යොදා ගනිමින් භාණ්ඩ නිපදවනවාද යන ගැටළුව මින අදහස් වේ. කෙසේ නිපදවනවාද  යන ගැටළුව නිෂ්පාදන ගැටළුව නම් වේ.